ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda අතර හමුවක් සිදුව ඇත.
මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවති අතර, 2026 ලෝක ආර්ථික සංසදය (WEF) සමගාමීව ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි WEF කොංග්‍රස් මධ්‍යස්ථානයේදී මෙම හමුව සංවිධානය කරන ලදී.
මෙහිදී, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය සහ අනෙකුත් සම්බන්ධිත කරුණු කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.
අග්‍රාමාත්‍යවරිය WEF 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගීවෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2026 ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීමට පසුගිය සඳුදා (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය.
2026 WEF රැස්වීම “සංවාදයේ ආත්මය” යන තේමාව යටතේ ඩාවෝස් හි දී පැවැත්වෙන අතර, රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණ නවෝත්පාදකයින් සහ ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවක් මෙහි එක්වීමට නියමිතය.
ඉහළ මට්ටමේ හමුවලට නියමිතයි
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන පෙළ රාජ්‍ය නායකයින්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු අමුත්තන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමට නියමිතය.