තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූයේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ කරන ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.
ඇය මෙලෙස සඳහන් කර තිබුණේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ සඳහන් වන පරිදි පසුගිය වසර කිහිපය තුළ කැකුළු සහල් ටොන් ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. නමුදු අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන නොමිලේ සහල් බෙදා දීමේ වැඩ පිළිවෙළ වෙනුවෙන් වෙන් කර ඇත්තේ සමස්ත කැකුළු සහල් ප්‍රමාණයෙන් දාහතරෙන් පංගුවකි.
ඒ අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ සැලසුම් සහගතව ම ජනතාවට මුසාවාද පවසා ඇතැයි මන්ත්‍රිවරිය වැඩි දුරටත් සඳහන් කර ඇත.
මතු දැක්වෙන්නේ මාතලේ දිස්ත්‍රක්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
2025 ජනවාරි 15
පුවත්පත් නිවේදනය
කැකුළු හාල් නැත්තම් දැන් ‘දරුවන්ට සම්බා – බාස්මතී බෙදන්න’
ආණ්ඩුව හාල් ප්‍රශ්නය අනාගෙන දැන් දෙස් දෙවොල් තියනවා
තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයකි.
පසුගිය වසර කිහිපයේ ම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක අස්වැන්නක් ලැබී ඇත. එයින් හාල් මෙ.ටො. ලක්ෂ 29 ක් නිෂ්පාදනය කෙරේ. මෙරට හාල් නිෂ්පාදනයෙන් හතරෙන් එකක් ‘කැකුළු සහල්’ ය. දකුණු පළාතේ වීවලින් 85%ක් ම කැකුළු ය. ඒ අනුව, කැකුළු හාල් ටොන් ලක්ෂ 7 කට වැඩි අවම නිෂ්පාදනයක් පැවතුණේ ය.
අවස්ථා දෙකක දී, හාල් කිලෝ 20 බැගින් පවුල් ලක්ෂ 27කට හාල් කිලෝ මෙ.ටො 54,000ක් මේ අනුව බෙදා ඇත. මෙයින් 75%ක් පමණ කැකුළු හාල් වූ අතර ඉතිරිය සුදු කැකුළු විය. රජය මගින් කැකුළු සහල් කිලෝ 50,000ක් නොමිලේ බෙදාදුන්නේ යැයි උපකල්පනය කළ ද, එය රටේ සමස්ත කැකුළු හාල් නිෂ්පාදනයෙන් 14න් (සුදු හාල් ප්‍රමාණයක් ද බෙදනු ලැබී ය) පංගුවකි.
අප රටේ සහල් පාරිභෝජනයෙන් 22%ක් කැකුළු ද, 18%ක් සුදු කැකුළු ද වේ. මෙට්‍රික් ටොන් ලක්ෂ දහයකට වැඩි අස්වැන්නකින් මෙට්‍රික් ටොන් 54,000ක් රටේ දුප්පත්ම සමාජ තීරුවට ලබාදුන් විට කැකුළු හාල් හිඟයක් ඇතිවීමට කිසි ලෙසකින් හෝ සිදු විය හැකි තත්ත්වයක් නොවේ. මෙම ප්‍රකාශය සමාජයේ දිළිඳු ම ජනතාවට අනාගතයේ අවශ්‍යතාව මත හෝ ආහාර ලබාදීමේ වගකීමෙන් ගැලවීම සඳහා රජය සැලසුම් සහගතව ගොතන බොරුවකි.
හාල් බෙදීමේ තීරණය පාර්ලිමේන්තුව ද දායක වූ සාමුහිත තීරණයකි. ‘දරුවන් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය’ ට මා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, ළමා මන්දපෝෂණය පිළිබඳ විශේෂඥයින් යොදාගනිමින් වාර්තාවක් සකස් කරනු ලැබී ය. එහි මෙරට ළමුන් අතරින් 36%කට කුමන හෝ මට්ටමක මන්දපෝෂණ තත්වයක් පවතින බව දැක්වේ.
පාසල් දරුවන්ට දිවා ආහාර සහ අන්ත දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ අවශ්‍යතාව එම වාර්තා ම මගින් ද, තවත් අධ්‍යයනයන් රැසකින් ද, ජාත්‍යන්තර සංවිධාන ද පෙන්වා දෙනු ලැබී ය.
ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු කමිටුවක නිර්දේශය, හා ජාතික අවශ්‍යතාව සලකා රාජ්‍ය යාන්ත්‍රණය හරහා සහල් බෙදීම ක්‍රියාත්මක කළේ ය. එය පාර්ලිමේන්තුව හා විධායකය ජනතාව වෙනුවෙන් සාමුහික වගකීම් ඉටු කිරීමකි.
ලංකා ඉතිහාසයේ පළමු වරට තෛපොංගල් උත්සවයට කැකුළු හාල් නැතිවුණේ ද, සහල් හිඟයක් ඇති වූයේ ද වෙළඳපොළ කලමනාකරණය සඳහා රජයට ඇති නොහැකියාව නිසා ය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වාම ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ එක් වරක් හෝ රැස්වී නැත.
රටේ ආහාර අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට රජය ලබා දෙන ප්‍රමුඛතාව එයින් මනාව පැහැදිලි වේ. සහල් අර්බුදය උත්සන්න වූයේ රටේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු එක් විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත් නොකර ජනමාධ්‍ය ඔස්සේ ගැලරිය පිණවීමට යාම නිසා ය. පාර්ලිමේන්තු කමිටු සහ කැබිනට් මණ්ඩලය රටේ පෝෂණ අවශ්‍යතා පියවීම සඳහා ගත් කාලීන ප්‍රශස්ත පියවරවලට දෙස් දොවොල් තැබීමෙන් දැන් පළක් නැත.
(පාර්ලිමේන්තු කමිටු වාර්තාව මේ සමඟ අමුණා ඇත)
රෝහිණී කවිරත්න
Rohini Kavirathna
MP, Matale District,
Samagi Janablawegaya.
rohinikavirathna@aol.com