“ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන පාසලට

Spread the love

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අපේක්ෂිත අරමුණු පාසල් පද්ධතිය කරා ගෙන යාමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ජී. එම්. ආර්. ඩී අපෝන්සු, එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාන්ගේ මූලිකත්වයෙන් ඇරඹි එම වැඩසටහන සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.

මෙහිදී සනීපාරාක්ෂාව, කසළ කළමනාකරණය, සිසුන්ගේ චර්යාත්මක හා ආචාරධාර්මික ගුණාංග වර්ධනය කිරීම යනාදී තේමාවන් මූලික කර ගත් වැඩසටහන් මාලාවක් දියත් කිරීම ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන අතරතුර ඊට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අරමුණු පැහැදිලි කරමින් වැඩිදුරටත් අදහස් දැක්වී ය.

සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන් අද දින වැඩසටහන පැවති අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පුහුණුව එහිදී ලබා දුනි. මෙම පුහුණුව සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ තෝරා ගත් නියෝජිත පිරිසක් එක් වූහ.