2026 අධ්‍යයන වර්ෂයට අදාළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පළමු වාරයේ පළමු අදියර පසුගිය ජනවාරි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වුණු අතර, එයින් අනතුරුව ජනවාරි 10 වැනිදා සිට 20 වැනිදා දක්වා පාසල් සඳහා නිවාඩු ලබා දී තිබුණි.
සුළි කුණාටුව හේතුවෙන් කල් දැමීමට සිදු වූ අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් පවත්වා අවසන් කිරීම සඳහා මෙම නිවාඩු කාලය වෙන් කර තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය නිකුත් කළ කාලසටහනට අනුව, පළමු වාරයේ දෙවන අදියර අද සිට පෙබරවාරි 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
එසේම, 2025 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා සියලු පාසල් නැවත වසා තැබීමට නියමිත බව ද දැනුම් දෙයි.
කෙසේ වෙතත්, රමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල් සඳහා පෙබරවාරි 14 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.