බංග්ලාදේශයේ සේවයේ නිරත වී සිටින ඉන්දීය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් තාවකාලිකව ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, බංග්ලාදේශය තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර නවදිල්ලිය මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයක් ලෙස දක්වා ඇත.
ඒ අනුව, පූර්වාරක්ෂා පියවරක් ලෙස බංග්ලාදේශයේ මහ කොමසාරිස් කාර්යාලයේ සහ අනෙකුත් ඉන්දීය රාජ්‍ය තනතුරු වල සේවයේ නිරත නිලධාරීන්ගේ යැපෙන්නන්ට ඉන්දියාව වෙත නැවත පැමිණෙන ලෙස උපදෙස් ලබා දී ඇති බව නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ පිහිටි ඉන්දීය දූත මණ්ඩලය සහ සියලුම රාජ්‍ය තනතුරු සාමාන්‍ය පරිදි විවෘතව සහ සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බව ඉන්දියාව වැඩිදුරටත් සඳහන් කර ඇත.