බාර් පර්මිට් දෙන හැටි ජනපති කියයි…

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත්, සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

සුරාබදු අය කර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අයවිය යුතු බදු ප්‍රමාණය අය කර ගැනීම, අසාදුගත ආයතන මෙන්ම බදු අය කර ගත නොහැකි ආයතනවල බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම බදු අය කර ගැනීමේ දී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර බදු අය කර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරාබදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකයට හිතකර ලෙස එම ආයතන පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

එසේම නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදු වන හානිය සම්බන්ධව ද අවධානය යොමු කෙරිණි.

සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආර්. වී. එස්. තිස්ස කුමාර, සහකාර සුරාබදු කොමසාරිස් එම්. ජේ. ද සිල්වා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී. ඒ. චාන්දනී, ප්‍රධාන ගණකාධිකාරී ඩබ්. ආර්. පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– Media unit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form