බාල ගල් අඟුරු වල අහිතකර බලපෑම් ගැන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් නැහැ – පරිසර ඇමති

ප්‍රමිතියෙන් තොර හෝ බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති විය හැකි පරිසර හා සෞඛ්‍ය බලපෑම් පිළිබඳව රජය කරුණු පැහැදිලි කිරීමට සූදානම් වන්නේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි හා විශ්වාසනීය සාක්ෂි ඉදිරිපත් වුවහොත් පමණක් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කල්පිටිය ප්‍රදේශයේ ජනතාවට බාල ගල් අඟුරු දහනයෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම් වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, යම් හෙයකින් අදාළ ඉන්ධන භාවිතය හේතුවෙන් පරිසරයට හෝ ජනතාවට ගැටලුවක් මතු වූ බව සාක්ෂි සහිතව තහවුරු වුවහොත් පමණක් ඒ සම්බන්ධයෙන් රජය කරුණු දැක්වීමට බැඳී සිටින බවයි.

බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් අහිතකර බලපෑම් සිදුවන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බැවින්, ඒ පිළිබඳව නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට රජය සූදානම් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ධම්මික පටබැඳි මහතා,
“ඔබ සිතන හෝ අනුමාන කරන තත්ත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට මට හැකියාවක් නැහැ. ඊනියා බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය නිසා එවැනි ගැටළුවක් ඇති වන බව සාක්ෂි සහිතව ඔප්පු වූ පසු මම ඒ පිළිබඳව පිළිතුරු ලබා දෙන්නම්” යනුවෙන් ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form