2026 අයවැය ගැන ආර්ථික විද්වතුන් කියන්නේ කුමක් ද?

Spread the love

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි.

ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි.

මේ අතර, ණය සේවාකරණය ඇතුළුව 2026 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 8980කි.

2026 වසරේ අයවැය හිඟය 5.2%ක් දක්වා අඩු කර ගත හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2030 වසර වන විට රාජ්‍ය ණය 87%කින් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව ය.

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි.

ජාතික ජන බලවේගයේ දෙවන අයවැය මෙවර ද ඉදිරිපත් කරනු ලැබුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.

මෙවර අයවැය ශුභසාධන අයවැයක් බවට ඇතැමුන් තර්ක කරන අතර, ඇතැමෙක් එය IMF අයවැයක් බව කියති.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ආර්ථික විද්‍යා විශේෂඥයින් තිදෙනෙකුගෙන් අදහස් විමසීය.

‘ශුභසාධන අයවැයක්’

ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය වසන්ත අතුකෝරළගේ අදහස වන්නේ, 2026 අයවැය ශුභසාධන අයවැයක් බව ය.

“මේ අයවැය සමස්තයක් හැටියට විශ්ලේෂණය කරනකොට මම දකින්නෙ ශුභසාධන අයවැයක් විදිහට. ඒකට ප්‍රධාන හේතුව විදිහට දකින්නෙ, අපි දන්නව සමාජයේ ඉන්න දිළිඳු කොටස් පිළිබඳව, සමාජයේ විවිධ ස්ථරවල ඉන්න පුද්ගලයින්ට ශුභසාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම වගේ පැති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා.”

මෙම අයවැය සංවර්ධනය ඉලක්ක කර ගත් අයවැයක් නොවන්නේ මන්ද යන්න මහාචාර්යවරයා පැහැදිලි කළේ මෙසේ ය.

“ආර්ථික සංවර්ධනයක් සඳහා වන අයවැයක් නම් ඒකෙ තියෙන්න ඕනෙ දිගුකාලීන දැක්මක්. රාජ්‍ය ආදායම වැඩි කරන, යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස දියුණු කරන තත්ත්වයක් ඒ තුළ තියෙන්නට ඕනෙ. නමුත්, වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක වුණ අයවැය ක්‍රමයට යටත්ව තමයි මේ ජාතික ජන බලවේගයේ දෙවන අයවැය සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ.”

මෙවර අයවැයෙන් සහනාධාර සඳහා රුපියල් බිලියන 1347ක් වෙන් කර ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි.

“මේ සහනාධාර වගේ දේවල් ක්ෂණිකව අයින් කරන්න රජයට බැහැ. ඒවට බැඳිල තියෙන්නෙ. පොළි ගෙවීම්වලටත් බැඳිල තියෙන්නෙ. ඒක රජයට බැහැ ක්ෂණිකව වෙනස් කරන්න.

මේ අතර, රාජ්‍ය ආයෝජන ලෙස සටහන් වන්නේ, රුපියල් බිලියන 1380කි.

“රාජ්‍ය ආයෝජන ප්‍රමාණය සහනාධාර ගෙවන ප්‍රමාණයට සමාන යි. රාජ්‍ය ආයෝජන රුපියල් බිලියන 2000 ඉක්මවන්න පුළුවන් නම් මේක සංවර්ධනය ඉලක්ක කර ගත් අයවැයක් කියල කියන්න පුළුවන්.”

‘නව ලිබරල් දර්ශනය යටතේ ඉදිරිපත් වූ ධනේෂ්වර අයවැයක්’

2026 අයවැය කිසිසේත් ම ශුභසාධන අයවැයක් ලෙස හැඳින්විය නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.

“මේක කිසිසේත් ම ශුභසාධන අයවැයක් කියන්න බැහැ. මොක ද, රටේ ආර්ථිකය ටිකෙන් ටික ස්ථාවර වෙමින් තියෙන තත්ත්වයක් යටතේ ශුභසාධන අයවැයක් ඉදිරිපත් කරන්න බැහැ. හැබැයි යම් යම් ශුභසාධන කරුණුත් පෙනෙන්නට තියෙනවා.”

ඔහු පෙන්වා දුන්නේ, 2026 මුල් මාස 6 තුළ ආණ්ඩුව නව ලිබරල්වාදයට නැඹුරු පනත් සහ ආයතන කිහිපයක් ගෙන ඒමට යෝජනා කර ඇති බව ය. එම පනත් සහ ආයතන වන්නේ,

  • රාජ්‍ය වානිජ ව්‍යවසාය කළමනාකරණ පනත.
  • රජයේ ඉඩම් කළමනාකරණයට විශේෂ කාර්ය බළකාය.
  • රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත.
  • රජයේ සහ පෞද්ගලික හවුල්කාරීත්ව පනත්.
  • ආයෝජන ආරක්ෂණ පනත.

“මෙයින් කියවෙන්නේ, ආර්ථිකය පීලි පන්නන්න ආණ්ඩුව උත්සහ දරන්නෙ නැති බව. ඒ අනුව, නව ලිබරල් දර්ශනය, ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් IMF එක්ක එකතු වෙලා ලංකාවට හඳුන්වා දුන්න ප්‍රතිපත්තිමය එකඟතා සහ එම ගමන් මාර්ගය තවදුරටත් විනිවිදභාවයකින් යුතුව යාමක් විදිහට තමයි මම දේශපාලනිකව මේක විශ්ලේෂණය කළොත්,” මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සඳහන් කළේ ය.

‘IMF උපදෙස් ඉදිරියට ගෙන යන අයවැයක්’

මෙවර අයවැය මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා සමගින් IMF උපදෙස් ඉදිරියට ගෙන යන අයවැයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ධනේශ්වර අයවැයෙහි ශුභසාධනය පෙන්වන ‘තීන්ත පාරවල් තුනක් පමණ පෙනෙන්නට ඇති’ බව ය.

“එකක් තමයි, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය පහසුකම් ලබා දීමට යෝජනා කරල තියෙනවා. දෙවෙනි එක තමයි, ආනයන ආදේශන භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීමක් කරන බව කියල තියෙනවා. ඒ අනුව ආනයන ආදේශනවලට යම් සහනාධාර, තාක්ෂණික පහසුකම් දෙනවා කියල යෝජනා කරල තියෙනවා. ඒක හැබැයි මහින්ද රාජපක්ෂගේ අයවැයවලත් දකින්න ලැබුණු දෙයක්. අනිත් එක තමයි, වතුකරය වගේ මෙතෙක් සමහර වෙලාවට ස්පර්ශ නොකරපු ප්‍රජාවකගේ සහනාධාර වෙනුවෙන් අවධානය යොමු කරල තියෙනවා. ඒ කාරණා තුන තමයි අර මම කියපු තීන්ත පාරවල් තුන.”

කෙසේ වෙතත්, ජනතා බදු මුදලින් මහා පරිමාණ වතු සමාගම්වල සේවකයින්ගේ වැටුප් සඳහා දායක වීම සාධාරණ තීරණයක් නොවන බව ද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහගේ අදහස යි.

උපුටා ගැනීම BBC සිංහල

poppuler