දුම්රිය අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අනුමැතිය

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන් හට නිවාස හෝ වන්දි හෝ ලබා දී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2024-08-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණ වලින් මිල දී ගත් නිවාස ඒකක 694 ක පදිංචි කිරීම් මේ වන විටත් අවසන් කර ඇති අතර, තවත් නිවාස ඒකක 144 ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතව ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම නොමැති මහරගම, හෝමාගම හා පාදුක්ක යන ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක නිවාස ඒකක 120 ක නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතින අතර, එහි වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.

ඒ අනුව, එකී නිවාස සංකීර්ණයේ පදිංචි කිරීමට නියමිත ප්‍රතිලාභින් හට ඔප්පු ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොට්ටාව මාලපල්ල හි පිහිටි ඉඩම සහ ඒ තුළ පිහිටී නිවාස සංකීර්ණය රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තියෙහි විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට වැය බරක් නොවන පරිදි අදාළ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form