‘සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ..’ – විනිසුරු විවෘත අධිකරණයේ කියයි…

ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව දැනුවත්ව තිබියදීත් 2012 වසරේදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ නොපවත්වා වෙනත් දිනයක් ඒ සඳහා නියම කරන ලෙස පැමිණිල්ල එනම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එහිදී පළමු විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කරමින් මහාධිකරණය මින් පෙර ලබාදුන් නියෝගයට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනුකර ඇති බව පෙන්වා දුන්හ. එකී අභියාචනා ලබන සැප්තැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවන බැවින් ඉන්පසු දිනයක එම නඩුව කැඳවීමට දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම්වලට පිළිතුරු දුන් මහාධිකරණ විනිසුරුවරයා තම අධිකරණය නිරතුරුවම ඉහළ අධිකරණවලට ගරු කරන බවත් තමන් මින් පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිය ඉහළ අධිකරණයට අභියාචනා ගොනු කර ඇත්නම් ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එකී නඩුව කැඳවීම නුසුදුසු බව සිය අධිකරණය ද සිතන්නේ යැයි පෙන්වා දුන්නේය.

මේ අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමට කිසිසේත්ම අපේක්‍ෂා කරන්නේ නැතැයි ද විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා එම නඩුව කල්තැබීමට නියෝග කරමින් වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක
Divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form