පකිස්ථාන පාර්ලිමේන්තුව හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ට නව බලතල සහ ජීවිත කාලය පුරාම අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් නිදහස් වීමේ මුක්තිය ලබා දීමට ඡන්දය ප්‍රකාශ කළ අතර, ඉන් රට ඒකාධිපති පාලනයකට ගෙන යා හැකි බව විචාරකයෝ පවසති.
ඉකුත් බ්‍රහස්පතින්දා අත්සන් කරන ලද 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඉහළම අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි ද සැලකිය යුතු වෙනස්කම් සිදු කරනු ඇත.
මෙම සංශෝධනවලට පක්ෂපාතී පිරිස් පවසන්නේ ඒවා සන්නද්ධ හමුදාවන්ට පැහැදිලි බවක් සහ පරිපාලන ව්‍යුහයක් සපයන අතරම, අධිකරණවල ඇති නඩු ප්‍රමාදය අඩු කිරීමට ද උපකාරී වන බවය.
පකිස්ථාන හමුදාව දිගු කලක් තිස්සේ න්‍යෂ්ටික බලයෙන් යුත් පකිස්ථාන දේශපාලනයේ ප්‍රධාන බලවේගයක් වී ඇති අතර ඇතැම් විට කුමන්ත්‍රණ හරහා බලය ලබා ගැනීම සහ තවත් විටෙක තිරය පිටුපස සිට විවිධ සිදුවීම්වලට බලපෑම් කිරීමට කටයුතු කර ඇත.
ඉතිහාසය පුරාම, පකිස්ථානය සිවිල් ස්වයං පාලනයේ සිට ජෙනරාල් පර්වේස් මුෂාරෆ් සහ ජෙනරාල් සියා-උල්-හක් වැනි හමුදා නායකයින් යටතේ විවෘත පාලනය දක්වා දෝලනය වී ඇත. විශ්ලේෂකයින් මෙම සිවිල් සහ හමුදා බල මිශ්‍රණය “දෙමුහුන් පාලනය” ලෙස හඳුන්වයි.
සමහරු මෙම සංශෝධනය දකින්නේ මෙම තුලනය හමුදාවට පක්ෂව වෙනස් වන ලකුණක් ලෙසයි.
“මට නම්, මෙම සංශෝධනය පකිස්ථානය දෙමුහුන් පද්ධතියකින් ඔබ්බට ගමන් කරන බවට මෙතෙක් ඇති පැහැදිලිම ලකුණයි,” වොෂින්ටනයේ විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියානු ආයතනයේ හිටපු අධ්යක්ෂ මයිකල් කුගල්මන් පවසයි.
“අපි මූලික වශයෙන් බලන්නේ සිවිල්-මිලිටරි අසමතුලිතතාවය හැකි තරම් අසමතුලිත වන තත්ත්වයක් දෙස.”
නවතම සංශෝධනයෙන් අදහස් වන්නේ 2022 නොවැම්බර් මාසයේ සිට හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ මුනීර්ට පකිස්ථානයේ නාවික හා ගුවන් හමුදාව පාලනය කිරීමේ බලය ද හිමි වන බවය.
ෆීල්ඩ් මාර්ෂල් ලෙස ඔහුගේ තනතුර සහ නිල ඇඳුම ජීවිතාන්තය දක්වා වන අතර, විශ්‍රාම ගැනීමෙන් පසුව පවා, අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් පවරන ලද රාජකාරි ඔහුට පැවරෙනු ඇත.
මේ හරහා ඔහුට ජීවත්ව සිටින තාක් මහජන ජීවිතයේ කැපී පෙනෙන කාර්යභාරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පනත් කෙටුම්පත ට පක්ෂව තර්ක ඉදිරිපත් කරන පිරිස් පවසන්නේ ඉන් පකිස්ථානයේ හමුදා විධාන ව්‍යුහය පැහැදිලි කරන බවයි.
පකිස්ථාන රජයේ ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, මෙම වෙනස්කම් පකිස්ථාන ආරක්ෂාව නවීන යුද අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණවල කොටසක් යැයි අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසූ බවයි.
නමුත් ඇතැම් පුද්ගලයින් එය හමුදාවට බලය පැවරීමක් ලෙස සලකනු ලබයි.
පකිස්ථාන මානව හිමිකම් කොමිසමේ සම සභාපති සහ මාධ්‍යවේදී මුනිසේ ජහන්ගීර් පවසන්නේ “හමුදාව සහ සිවිල් පාලනය අතර සමතුලිතතාවයක් නොමැති,” බවය.
“ඔවුන් නැවතත් එම බලය ගතිකව හමුදාව දෙසට නැඹුරු කර ඇති අතර හමුදාවට පාලනයට යොමු වීමට අවශ්‍ය වූ අවස්ථාවක හමුදාව බලගන්වා තිබෙනවා.”




