දිට්වා සුළි කුණාටුව මෙරට වෙරළ තීරයට සිදුකළ විනාශය

“දිට්වා” සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙරට වෙරළ තීරයේ කිලෝමීටර් 143.03ක ප්‍රමාණයක් දූෂණයට ලක්වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

මෙහිදී අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට මෙන්ම වෙරළ තීරයට ද දරුණු බලපෑමක් එල්ලවී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මිනිස් ශ්‍රම පැය 5,280ක් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා පැවසීය.

මෙහිදී කොළඹ, මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය හා නැගෙනහිර පළාතේ වෙරළ තීරයටත් දැඩි බලපෑම් එල්ල වී ඇත.
 
දිවයින පුරා පැවැති අධික වර්ෂාපතනය නිසා නායයෑමට ලක්වූ සියලුම ප්‍රදේශවල සහ නිවාසවල බඩු බාහිරාදිය මෙන්ම කැලි කසළ සියල්ලක්ම ගංගා ද්‍රෝණි හරහා අවසාන වශයෙන් පැමිණ ඇත්තේ මෙරට මුහුදු තීරයටය.

මීට අමතරව මෝසම් තත්ත්වය නිසා ඉන්දියානු මුහුදු තීරයේ පවතින කැලි කසළ පවා මෙරට වෙරළ තීරයට පැමිණ ඇති බව සිදුකළ නිරීක්ෂණයකදී තහවුර කරගැනීමට හැකිවී තිබේ.

එබැවින් මෙම අබලි ද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා කුලී පදනම යටතේ ශ්‍රම බළකායක්  යොදා ගැනීමට සූදානම් වන අතර මේ සඳහා අවම වශයෙන් සති තුනක කාලයක් ගතවෙනු ඇති බවට විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

මෙම කැලි කසළ හා අබලි ද්‍රව්‍ය එක්රැස් කිරීමෙන් අනතුරුව ඒවා ප්‍රතිචක්තිකරණය සඳහා පළාත් පාලන ආයතනයන්වල සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

මේ සඳහා දිවයින පුරා පිහිටි සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල 13ක සහාය එම පළාත් පාලන ආයතනවලට ලබා දීමට නියමිතය.

මීට අමතරව මුහුදු පත්ලේ තැන්පත්ව ඇති තවත් අපද්‍රව්‍යයන් පිළිබඳව නිරීක්ෂණ වාර්තාවක් ද මේ දිනවල සකස් කරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form