දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලගුණ පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 වනදා සිට, දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව පළාත, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙයි.
උතුරු පළාත, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50 පමණ තද සුළං විටින් විට හමන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.