ඉදිරි ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම කාලගුණ පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ හේතුවෙන් ලබන 08 වනදා සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව දැනුම් දී ඇත.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ තද සුළං හමන බව ද සඳහන් වේ.

මේ අතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කර ඇත.

අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් කටයුතු කරමින්, අදාළ නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුගමනය කරන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form