අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව පනත සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

2025 අංක 5 දරණ “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (06) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නීතිවිරෝධී වත්කම් හඳුනාගැනීම, අත්පත් කරගැනීම සහ ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය පිළිබඳව රටේ ආරක්‍ෂක හා නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වේ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම පුහුණු සැසිය පැවැත්වුණු අතර, එහිදී තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත බැඳීම් සහ එම වගකීම් නොපිළිපැදීමෙන් ඇතිවිය හැකි නීතිමය ප්‍රතිවිපාක පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ.

සංවිධානාත්මක මූල්‍ය අපරාධ මර්දනය කිරීමේ ජාතික ප්‍රයත්නයේ මූලික පදනමක් ලෙස මෙම වැඩමුළුව ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී සඳහන් විය.

මෙහි ප්‍රධාන දේශනය අතිරේක සොලිසිටර් ජෙනරාල්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නීති) වන එයාර් කොමඩොර් සුදර්ශන ද සිල්වා මහතා (ජනාධිපති නීතිඥ) විසින් පවත්වන ලදී.

2025 ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක වූ මෙම නව නීතිමය රාමුව පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කළ ඔහු, අපරාධයකින් උත්පාදිත දේ යැයි සැක කෙරෙන ඕනෑම තොරතුරක් දන්නා පුද්ගලයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකු විසින් එම තොරතුරු අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම නීත්‍යානුකූලව අනිවාර්ය බව අවධාරණය කළේය.

තවද, එවැනි තොරතුරු හිතාමතාම නොසලකා හැරීම හෝ හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මෙම පනත යටතේ බරපතළ වරදක් වන අතර, ඒ සඳහා දැඩි නීතිමය දඬුවම් නියම විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

නව නීතිමය රාමු පිළිබඳ ත්‍රිවිධ හමුදා සහ සිවිල් පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මනා අවබෝධයක් ලබාදීම තුළින් විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, නීතිවිරෝධී මූල්‍ය ජාලයන් හඳුනාගෙන ඒවා අඩපණ කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ අරමුණ බවද මෙහිදී අවධාරණය විය.

අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා සැසියකින් අනතුරුව මෙම වැඩසටහන අවසන් වූ අතර, එයට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන), ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නීති වෘත්තිකයන් සහ සිවිල් පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form