චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීමේ කටයුතු පිළිබඳ සොයාබැලීම සහ එම කටයුතු සඳහා චීන රජය විසින් ලබාදීමට නියමිත ආධාර සම්බන්ධයෙන් දැනුම්දීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව වාර්තා වේ.
චීන විදේශ අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කර යළි චීනය බලා ගමන් කරමින් සිටියදී මෙම කෙටි සංචාරය සඳහා අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ඔහු සමඟ චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකුද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම පිරිස සිය කෙටි සංචාරය නිමා කරමින් අද පෙරවරු 10.30ට පමණ යළිත් චීනය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.
මෙම හමුව තුළ ශ්‍රී ලංකා–චීන ද්වීපාර්ශ්වික සබඳතා, සංවර්ධන සහයෝගිතාව සහ ආපදා පසුකාලීන සහාය සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ බව ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.