නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62කට අධික වටිනා දේපළ කිහිපයක් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර ඇත.
ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදු කරමින් විශාල වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
විමර්ශනවලදී, අදාළ සැකකරු විසින් ඔහුගේ බිරිඳගේ නමින් නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් යොදාගෙන මිලදී ගෙන ඇති බවට සැක කරන රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03ක්, ඒ තුළ ඉදිකර ඇති නවීන තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ–රත්නපුර ප්‍රධාන මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පර්චස් 06ක ඉඩමක් 2025 නොවැම්බර් 12 වන දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට නියෝග නිකුත් කර තිබේ.
මෙම දේපළ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, එම ක්‍රියා විරහිත කිරීමේ නියෝගය 2026 පෙබරවාරි 18 දින දක්වා දීර්ඝ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව සැකකරු 2025 නොවැම්බර් 12 දින සහ සැකකාරිය 2025 නොවැම්බර් 21 දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
තවද, මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදාගෙන ඔවුන්ගේ දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිලදී ගෙන තිබූ රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් නවීන දෙමහල් නිවසක් සහිත පර්චස් 11.6ක ඉඩමක් සහ රුපියල් මිලියන 12ක් වටිනා මෝටර් රථයක් සඳහාද අද (21) දින සිට දින 07ක කාලයකට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.