සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් – අගමැති

නිරන්තර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන වර්තමාන ලෝකය තුළ බලාපොරොත්තුව, නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කතා කිරීමේදී ශ්‍රී ලංකාව කදිම උදාහරණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අස්ථාවරතා සහ ආර්ථික අභියෝග වැනි වේගයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ සංචාරක කර්මාන්තය සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇය අවධාරණය කළාය.

ලෝක ආර්ථික සංසදයට (World Economic Forum) සමගාමීව ඊයේ (20) ස්විට්සර්ලන්තයේ Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අග්‍රාමාත්‍යවරිය සහභාගී වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය.

සංචාරක ක්ෂේත්‍රය හරහා ජනතාව අතර සබඳතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුවමාරුව සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳව මෙම සංවාදයේදී අවධානය යොමු කෙරිණි.

මෙම සාකච්ඡාවට තුර්කි රාජ්‍ය සංවිධානයේ මහලේකම් කුබාන් ඔමරලියෙව් (Kuban Omiraliyev) මහතා සහ සවුදි අරාබියේ Aseer Investment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Meshari Alnahar මහතාද සහභාගී වී තිබේ.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, සංචාරක ව්‍යාපාරය ආර්ථික ආදායම් උපයන ක්ෂේත්‍රයක් ලෙස පමණක් නොව, ජීවනෝපායන් ආරක්ෂා කරන, සමාජීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් බවය.

ශ්‍රී ලංකාව මෑත කාලයේදී මුහුණ දුන් විවිධ අර්බුද සහ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් අතරතුර වුවද, සංචාරක කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමට හැකි වූ ආකාරය පිළිබඳවද ඇය පැහැදිලි කර ඇත.

විනිවිදභාවයෙන් යුතුව අර්බුද කළමනාකරණය කිරීම සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උපායමාර්ගිකව සම්බන්ධ වීම මඟින් සංචාරකයින්ගේ විශ්වාසය පවත්වා ගත හැකි වූ අතර, ඒ හරහා අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා වාර්තාගත සංචාරක පැමිණීම් වාර්තා කිරීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

එමෙන්ම දේශගුණික මූල්‍යකරණය, ඩිජිටල් පරිවර්තනය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රමිතියකින් යුත්, දීර්ඝකාලීනව තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමේ වැදගත්කම ද ඇය විසින් ඉදිරිපත් කර තිබේ.

සංචාරක කර්මාන්තය ලොව පුරා මිලියන ගණනක් රැකියා අවස්ථා සඳහා මඟ විවර කරන බවත්, විශේෂයෙන් කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සාධාරණ හා සමාන අවස්ථා සහතික කිරීම සඳහා සියල්ල ඇතුළත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පෙන්වා දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form