වත්මන් නීතිපතිවරයාට එරෙහිව විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද උදෑසන ආරම්භ වුණා.
මේ අතර නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළ කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ සමාජ මාධ්‍ය සටහන් මගින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේඅපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන බවයි.
විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම සංගමය පවසනවා.
එහිදී අදාළ සාක්ෂි නීත්‍යනුකූලව පිළිගත හැකි ද යන්න සහ එම කරුණු මත පදනම්ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක්ඇද්දැයි සලකා බැලීමට නීතිපතිවරයාට සිදුවන බවයි එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවයි.