ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් වටිනාකම 2025 දෙසැම්බර් මාසය අවසානය වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් (ඩොලර් බිලියන 6.82ක්) දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව අනාවරණය වේ.
මෙම සංචිත වටිනාකම 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක ප්‍රමාණය සමඟ සැසඳීමේදී සියයට 13.1ක වැදගත් ඉහළ යාමක් ලෙස සටහන් වේ.
මහ බැංකු දත්ත අනුව, නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එය 2025 නොවැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 5,944 සිට 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් මිලියන 6,734ක් දක්වා සියයට 13.3කින් වර්ධනය වී ඇත.
මෙම සංචිත වර්ධනය, රටේ විදේශ ගෙවීම් ශේෂය, විනිමය ස්ථාවරතාවය සහ ආර්ථික විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා ධනාත්මක සංඥාවක් ලෙස ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.
එසේම, ඉදිරියේදී විදේශ ණය සේවාකරණය, ආනයන අවශ්‍යතා සපුරාලීම සහ මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම සංචිත වර්ධනය වැදගත් දායකත්වයක් සපයනු ඇතැයිද සඳහන් වේ.